.

.

May 9, 2011

වෙසක් කූඩූවට ගිය කල - Generation 4 - wesak lanterns

පොඩි මහත්තයට ඉස්කෝලෙන් වෙසක් එකට සැන්ටි මීටර 30 වෙසක් කූඩූවක් ගේන්න කියල. කරුණු කාරණා විස්තර කරල බැලුවහම අටපට්ටමක් තමයි ගේන්න කියල තියෙන්නේ. කාලා වරෙන්කො. ඒත් මට මතක් උනා වෙසක් කූඩූ හදපුව තියෙනව නේද කියල. එහෙම හොයාගෙන යන විටදි තමයි හම්බ උනේ අළුත් ජෙනරේසොන් එකේ වෙසක් කූඩූ.

වැඩේනම් හරිම ලේසියි. අටපට්ටම විතරයි හැබැයි මේ විදියට දැනට වෙළඳ පොලේ තියෙන්නෙ. එකක් රුපියල් 80 - 100 විතර වෙනව. ප්‍රමාන තුනකින් ගන්න පුළුවන්. ප්ලාස්ටික් වලින් හදල ලස්සන බෑග් එකක එහෙම දාල තියෙන්නෙ. බිල්ඩින් බ්ලොක්ස් හදනව වගේ ගෙදර ගෙනල්ල සෙට් කොර ගන්න එකයි තියෙන්නෙ. (උණ බම්බු ටික ඉතුරු කර ගන්නත් පුළුවන්.) හැබයි ඉතින් සවු කරදාසි අලවල රැලි දාලා හැඩ වැඩ කර ගන්න එක අපි කර ගන්න ඕන. ඒකේ අර රෙඩි මේඩ් එකක් ගේනවට වැඩියෙ ආතල් එකක් තියෙනව. පොඩි එකත් එක්ක එකතුවෙල ඒක අලවන කොට.

මේ ගැන ලියන්න හිතුනෙ අපි පොඩි කාලේ මොනතරම් වින්දනයක් ලැබුවද වෙසක් කුඩූ හදල. අලුත් අවුරුද්දෙන් පස්සෙ සෙට් වෙන්නෙ වෙසක් කූඩූ හදන වැඩේට. පොඩිම කාලේ තාත්තත් එක්ක එක්කාසු වෙල තම්යි වැඩේ ඉගෙන ගන්නේ. පස්සෙ කාලේ රැලට වැටුනම උන් එක්කයි වැඩේට සෙට් වෙන්නෙ. ඉස්සෙලම කොරන්න ඕන වැඩේ තමයි උන බම්බු හොයා ගන්න එක. උණ ගස් කපා ගන්නෙ හොරෙන්. (ඒව හරි රස කතා පස්සෙ දවසක කියන්නම්.) ඊට පස්සෙ තම තමන්ට අවශ්‍ය ප්‍රමාණය කචල් බචල් දාගන්නේ නැතුව බෙදාගන්නව.

කූඩූවට අවශ්‍ය ගානට බට පතුරු කපාගෙන සුද්ද කරල අව්වේ දාලා දවසක දෙකක් වේලගන්න ඕන. ඉන් පස්සෙ තමයි පවුලම එකතු වෙල කූඩූ බඳින එක, සව් කොල අලවන එක, මොස්තර දාන එක. රැලි කපන එක එහෙම කරන්නෙ, කූඩූව හැදුවට බට කපන්න ගිය යාලුවෙකුටවත් ඒක බලන්න ලැබෙන්නෙ නෑ වෙසක් දවසෙ හැන්දෑව වෙනකල්. අනිත් අයත් එහෙම තමා. ඒක එල්ලන්නත් ලොකු උණ බම්බුවක කෙලවරේ නූල් රෝදයක් දාලා (ඉස්සර නුල් බෝල එන්නෙ ලී වලින් කපපු ලස්සන ලීවර් එකක ඔතල ඒකෙන් පොඩි මැෂිමකුත් හදනව ඒ කාලේ.) ඒක අතරින් ලණුවක් හරි එහෙම නැත්නම් ට්වින් නූලක් එහෙම දාලා කොඩි ගහ වගේ කලින්ම සෙට් කරගෙන තියෙන්නේ.

එල්ලන වෙලාවට පවුලෙ අයයි අහල පහල අයයි ඔක්කොම එක්කහු වෙනව. අවුරුද්දට අළුත් ඇඳුම් ඇඳල එලියට යනවට වඩා සන්තෝෂයක් ඒ වෙලාවට විඳින්නෙ. මේ කූඩූවට විදුලි ආලෝකය තාත්තගෙන් ලැබෙන්නෙ එයා තම්යි අර බම්බුවේ කෙලවරට කූඩූව ඇතුලට වැටෙන විදියට බලුබ් එකක් දාන්නෙ. ඊළග ආතල්ම වෙලාව තමයි ලයිට් එක දාන වෙලාව. ඊට පස්සෙ කෙසෙල් කඳන් වල ගහපු පොල්තෙල් පහන් දල්වල, ඉටිපන්දම් බකට් ගස්වල එල්ලල. කට්ටිය එක්ක යනව අසල් වාසින්ගෙ කූඩූ බලන්න.

එදා ඉඳල අදටත් මම කැමති සුදු පාට අරුමෝසම් නැති පැටව් හතරක් ඉන්න සුදු චාම් අටපට්ටමට තමයි. වෙසක් කූඩූවක් කියන නියම අරුතෙ තියෙන්නෙ ඒකේ කියලයි මට හිතෙන්නෙ. වෙන එක එක ජාතියේ අළුත් නිර්මාණවල වෙසක් කූඩූ හැදුවත් අටපට්ටමක් හදනවමයි. ඒකේ පුදුම පිරුනු බවක්, චාම් බවක්, නිවිච්ච බවක්, අලංකාරයක්, අහිංසක බවක් සහ බෞද්ධ බවකුත් කැටි වෙල තියෙනවයි කියන එක තමයි මගේ අදහස. 

අලුත් ජෙනරේසොන් එකේ වෛවර්ණ අළුත් කූඩූ ජාති කොච්චර තිබුනත් අටපට්ටම (දඩිබිඩිස්ගෙ එක නෙමේ.) සදාකල් පවතින බවත්, නියම වෙසක් කූඩූව අටපට්ට්ටමම වේවා ....!!! කියන එකත් මගේ එකම වෙසක් ප්‍රාර්ථනයයි

8 comments:

  1. ඒක ඇත්ත.ඔය කොච්චර රෙඩිමේඩ් ඒව කඩෙන් ගෙනාව්ත් තමන් හදන එක තරම් වටින්නෙ නැ.අපිත් පොඩිම කාලෙ අප්පච්චි වෙසක් කූඩු හදන හැටි බලන් හිටිය.ටිකක් ලොකු උනාම අපි ඔක්කොම එකතුවෙලා "අටපට්ටම්" හදනව.අප්පච්චි තමයි උණබට එහෙම කපල සුද්ද කරල දෙන්නෙ,වේලෙන්නත් තියන්න ඕනෙ නැත්තම් ඇද ගහනව.තනිකරම සුදු පාටින් ඇලවලා රෑට ලයිට් දැම්මම අමුතුම ශාන්ත බවක් තියෙන්නෙ.මම් අදටත් ඒදාවගේම සුදු පාට අලවපු වෙසක් කූඩු හදනව,දිග රෑලිත් දාන්න ඕනෙ එතකොට තවත් ලස්සනයි.ඒත් මේ කාලෙ උණබට හොයාගන්න එක තමා අමාරුව.

    ReplyDelete
  2. මාතලන්,

    සියලු දේ වෙනස් වන සුලුය කියල බුදු හාමුදුරුවො කිව්වය කියල අහලවත් නැතෙයි?

    ReplyDelete
  3. මමත් පොඩි කාලෙ වෙසක් කූඩු හැදුවා.... ඒත් අපේ වටේ පිටේ මිනිස්සු නම් කියනවා මුන්ට ඇති වෙසක් එකකුත් නැතුව බොරුවට දඟලනවා කියලා.....

    ReplyDelete
  4. @ නදී

    ඕං ඉතිං ආයෙත් කියනව.. දැන් උණබට ඔනැන්නේ නෑ නොවැ....

    @ රවී

    බුදු හාමුදුරුවෝ කිව්වේ නෑ.. දේශනා කොලා බං....

    @ හරී

    ඒකට හේතුව ඇවිල්ල.. ලාංකිකත්වය කියන එක නැති කම බොලං....

    ReplyDelete
  5. ආපහු පුංචි කාලෙට ගියා. ස්තුතිය් රසවත් මතකයන් අලුත් කලාට.

    ReplyDelete
  6. @ Observer

    තැන්ක් යූ වේවා...!!! ඔබ්සෝවර් මහත්තයො.....

    ReplyDelete
  7. ඇත්ත හැමදේම වාණිජකරණය වෙලා. කොහොම වුණත් මාත් කැමති සුදු පාට අටපට්ටම් කූඩුවලට. හරි චාම් ගතියක් ඒකේ තියෙනවා

    ReplyDelete
  8. අටපට්ටම සුදෙන් අලවලා, බීකු තියලා එල්ලුවම තියෙන චාම් ගතිට එලම තමා බං. ඒත් ගෙදරම හදන්න ‍ඕනේ. මම කවදාවත් ගෙදර නොහදපුවා එල්ලලා නැහැ.

    සිරා පෝස්ටුව

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න